ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ්: වඳ වෙමින් පවතින අත් සහිත ඇවිදින මාළුවා

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියාහි ඉතා කුඩා මුහුදු සීමාවක පමණක් දැකිය හැකි දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන "ඇවිදින මාළුවා" හෙවත් ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ් (Spotted handfish) මත්ස්‍යයින් සංරක්ෂණය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එම මත්ස්‍ය විශේෂය සාමාන්‍ය මාළුන්ට වඩා වෙනස් වන්නේ, පිහිනීමට වඩා මුහුදු පතුලේ ඇවිද යාමට ද ඔවුන් කැමැත්තක් දක්වන හෙයිනි.
ඇවිදීමටත් වඩා ඔවුන් කැමැත්තක් දක්වන්නේ, මුහුදු පතුලේ හිඳගෙන සිටීමටය.
මෙම මත්ස්‍යයින් හොඳින් වැඩුණු පසු සෙන්ටිමීටර් 12ක් පමණ දිගින් යුක්තය."කුකුළා පක්ෂියෙක් වුණාට එයාට පියාඹන්න පුළුවන් ටික දුරයිනේ. ඒ වගේ ම තමයි හෑන්ඩ්ෆිෂ්. එයා මාළුවෙක් වුණාට පීනන්නෙ ටිකයි" ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ටිම් ලින්ච් පවසයි.
ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ් නමැති මෙම සුවිශේෂී මතස්‍යයාගේ නිජ බිම ටස්මේනියාව වන අතර, ඔවුන් හමු වී ඇත්තේ, ටස්මේනියානු මුහුදේ ස්ථාන 9කින් පමණි.
කලකට ඉහත මෙම මතස්‍ය විශේෂය සුලභව පැවතිය ද, 80 දශකය අග භාගය සහ 90 දශකයේ මුල් භාගය අතර කාල සීමාවේ ඔවුන් වාසය කළ පරිසර පද්ධතිවලට සිදුවූ බලපෑම් හේතුවෙන් එම මතස්‍යගහනය අවම වූ බව පර්යේෂකයෝ පවසති.
ඒ අනුව, ඔවුන් සංරක්ෂණ කිරීමේ කටයුතු ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ටිම් ලින්ච්  පැවසීය."මේ මාළුන් ආරක්ෂා කර ගැනීමේ එක් උත්සහයක් වශයෙන් අපි ඔවුන් කිහිප දෙනෙක් අල්ලාගෙන ඇවිත් පැටව් බෝ කරන්න තීරණය කළා. අපි ස්ථාන නවයකට ගිහින් වැඩිහිටි මාළු කිහිප දෙනෙක් රැගෙන ආවා. අපිව පුදුම කරමින් ඔවුන් බිත්තර දැම්මා. ඒ බිත්තරවලින් පැටව් 70 දෙනෙක් බිහි වුණා."ඔවුන්ට ගැලපෙන ජලය මත වැඩෙන්නට ඉඩ හැර පසුව මුහුදු ජලයට මුදා හැරීම සිදු කෙරිණි."මේ කුඩා මාළු පැටව් මුහුදු පතුලට හුරු වෙලා ඉන්නව දකිනකොට ලොකු සතුටක් දැනෙනවා." ටිම් ලින්ච් පැවසීය.මෙම ක්‍රමය මගින් ස්පොටඩ් හෑන්ඩ්ෆිස් නමැති දුර්ලභ මතස්‍ය විශේෂය වඳ වී යාම පාලනය කර ගත හැකි වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post