'වාසයට සුදුසු විය හැකි' ග්‍රහයකුගෙන් පළමු වරට ජලය හමු වෙයි

'K2-18b' හි වායුගෝලයෙන් 50% ක් දක්වා ජලය පැවැත්වීමේ ඉඩක් ඇත
දුරඈත පිහිටි තාරකාවක් වටා ඇති වාසයට සුදුසු කලාපයේ (Habitable zone) කක්ෂ ගතව පවතින ග්‍රහ ලොවක වායුගෝලයේ ජලය පවතින බව තාරකා විද්‍යාඥයන් විසින් පළමු වරට සොයා ගනු ලැබ ඇත.
නව සොයා ගැනීම තුළ 'K2-18b' නමැති ග්‍රහයා, පිටසක්වල ජීවයක් සොයා යන ගමනේ යම් කිසි විශ්වාසයක් තැබිය හැකි ස්ථානයකි.
මීළඟ දස වසර ඇතුළත, නව අභ්‍යාවකාශ දුරේක්ෂ යොදා ගනිමින් 'K2-18b' හි වායුගෝලය තුළ ජීවී කොටස් මගින් නිෂ්පාදනය විය හැකි වායු ඇත්දැයි යන්න නිශ්චය කිරීමට හැකි වනු ඇත.
අදාළ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරිය වන 'යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්' (University College London ) හි මහාචාර්ය ජියෝවානා තිනෙති ඉහත කී සොයා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් කියා සිට්යියේ "තාරකාවක් වටා, ජීවයක් පැවතීමට සුදුසු උෂ්ණත්වයක් තිබිය හැකි ජීවයට සුදුසු කලාපයේ ග්‍රහලෝකයක ජලය ඇතැයි නිශ්චය කළ පළමු අවස්ථාව මෙයයි," යනුවෙනි.
වාසයට සුදුසු කලාපය (Habitable zone) යනු තාරකාවක් වටා ඇති ග්‍රහ ලොවක් මතුපිට ද්‍රව ජලය හටගැනීම ආරම්භ වීමට ප්‍රමාණවත් උෂ්ණත්වයක් පවතින්නේ යැයි සැලකෙන කලාපයය.
අලුත් ග්‍රහ ලෝකය පෘථිවිය මෙන් දෙගුණයකට වඩා විශාලය. ග්‍රහ ලෝක වර්ගීකරණයේදී එවැනි ග්‍රහයන් හඳුන්වනු ලබන්නේ "සුපර් අර්ත්"නැතිනම් 'සුපිරි පෘථිවියක්" ලෙසය. ඒ තුළ ද්‍රව ජලය තිබීමට තරම් ප්‍රමාණවත් සෙල්සියස් අංශක 0-40 අතර සිසිලසක් ද පවතී.
'K2-18b' පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111 ක්, එනම් සැතපුම් මිලියන, මිලියන 650 ක් තරම් දුරකින්ය. එබැවින් ඒ වෙත යානයක් යැවිය නොහැක. ඒ අනුව දැනට පවතින එකම විසඳුම වන්නේ 2020 න් ඇරඹෙන දශකයේ දියත් කිරීමට නියමිත නව දුරේක්ෂ ඔස්සේ එහි වායුගෝලය තුළ ජීවී කොටස් මගින් පමණක් නිෂ්පාදනය කළ හැකි වායු ඇත්දැයි යන්න නිරීක්ෂණය කිරීමය.
'K2-18b' පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111 ක්, එනම් සැතපුම් මිලියන, මිලියන 650 ක් තරම් දුරකින්ය

'එක්සොප්ලැනට්' යනු කුමක්ද?

  • අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා පිහිටි ග්‍රහලෝක 'එක්සොප්ලැනට්ස්' යනුවෙන් හැඳින්වේ.
  • පළමු වරට 'එක්සොප්ලැනටයක්' සොයා ගනු ලැබුවේ 1992 වසරේදීය. එය, විදුලිචුම්බක විකිරණ නිකුත් කරන නියුරෝන තරුවක් වටා කක්ෂගත වෙමින් තිබිණි.
  • තාක්ෂණික ක්‍රම කීපයක් උපයෝගී කර ගනිමින් එවැනි ග්‍රහලෝක 4,000 ට වැඩි සංඛ්‍යාවක් මේ දක්වා නිරීක්ෂණය කර තිබේ.
  • ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් බ්‍රහස්පති හෝ ජුපිටර් ට සමාන යැයි විශ්වාස කැරෙන යෝධ ග්‍රහයන්ය.
  • සොයා ගෙන ඇති යෝධ ග්‍රහයන් වැඩි සංඛ්‍යාවක් සිය තාරකා වටා ඉතා සමීපයෙන් කක්ෂගත වී ඇත.

ඉහත කී සොයා ගැනීම පිටුපස සිටින කණ්ඩායම 2016 සහ 2017 අතර කාලයේ 'හබ්ල් අභ්‍යාවකාශ දුරේක්ෂය' විසින් සොයා ගන්නා ලද ග්‍රහලෝක අතරින් සිය අධ්‍යනය කර ඇත. සිය සූර්යයන් වටා ග්‍රහලෝක කක්ෂගත වීමේදී ආලෝකයේ සිදුවන වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ඒවායේ වායු ගෝලයේ ඇති ඇතැම් රසායනික ද්‍රව්‍ය පර්යේෂකයන් විසින් නිශ්චය කරනු ලැබීය. ග්‍රහලෝක අතරින් පෙරී එන ආලෝකය වායු ගෝලයේ පවතින සංයුතිය මගින් ඉතා සියුම් වෙනසකට ලක් වී ඇත.

පෘථිවියේ ජීවයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් වන ජලයේ අණුක මුද්‍රා'K2-18b' තුළින් පමණක් හඳුනා ගෙන ඇත.
කෙසේ වුවත් 'K2-18b' හි ජීවයක් පැවැත්වීමට සුදුසු දැයි යන්න සෙසු තාරකා විද්‍යාඥයන් අතර විවාදයට ලක්ව තිබේ. පෘථිවියට වඩා 1.5 ගුණයක් ස්කන්ධයෙන් යුත් ග්‍රහලෝක තුළ පාෂාණමය මතුපිටක් පැවතීමේ සම්භාවිතාව ඉතා අඩු බව එක් විශ්ලේෂණයකින් පෙන්නුම් කරයි. එමෙන්ම 'K2-18b' හි විශාලත්වය සහ ගුරුත්වාකර්ෂණය එහි ජීවයක් පැවැත්වීමට බාධාවක් විය හැකියි යනුවෙන්වූ අදහසක් ද පවතී.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: