ලංකාවේ ඓතිහාසික වාරි තාක්ෂණය හා ජල කළමනාකරණය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුළුල් වශයෙන් පුරාතන, මධ්‍යතන හා නූතන වශයෙන් යුග තුනක් ලෙස ඉතිහාසඥයින් විසින් හදුන්වා දී ඇත. ලාංකික ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගය ලෙස හඳුන්වන්නේ ක්‍රි.පු. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වා වු මධ්‍යතන යුගයේ වාරිකාර්මික සමාජයක් ලෙස සමාජ විද්‍යාඥයින් හඳුන්වාදි ඇත. (ගෙවි ජන සේවා දෙපාර්තෙමින්තු වාර්තා 1985) වාරි කර්මාන්තය මූලික කරගෙන උතුරු හා නැගෙනහිර කලාපවල ජනාවාස බිහිකිරිම සිංහල ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ඒ මත දියුණුවීමක් දක්නට ලැඛෙන්නේ මේ යුගයේදීය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය ලෙස නිර්වචනය කළ හැක්කේ වර්ග සැතපුම් 19000 ක ප්‍රමාණය විහිදුවන වාර්ෂික වර්ෂාපතනය අඟල් 50-75 දක්වා වූ උන්නතාංශය මුහුදු මට්ටෙමි සිට අඩි 1000 දක්වා වු ප්‍රදේශය යි. වියළි කලාපයේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොවු නිසා පුරාණ සිංහල ජනතාවට ස්ථාවර කෘෂිකර්මාන්තයක් කිරිමට නොහැකි විය. ස්වාභාවිකව ජලය සැපයිමට නිසි කාලයට අපහසු නිසා අහස් දිය එකතු කර ගැනිමට වියළි කලාපය පුරාම වැව් පද්ධති නිර්මාණය කර ඇත.

එදා රජරට හා රුහුණු රට පුරා පැතිර පැවතියේ හුදෙක් හුදකලා වැව් සමුහයක් නොවේ. එකිනෙකට ඇළ මාර්ග මගින් සම්බන්ඳ වු විශාල වැවක් එම වැව් ජලයෙන් හා වර්ෂා ජලයෙන් පෝෂණය වු කුඩා වැව් රාශියකුත් එදා රජරට හා රුහුණු රට පුරා පැතිර තිබුණි. එකල තිබුණා යයි සැලකෙන කුඩා වැව් සංඛ්‍යාව තිස් දහසක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මෙම වැව්වලට යටවුණු බිම් ප්‍රමාණය වර්ග සැතපුම් 15000 ක් පමණ වෙතැයි සැලකේ. (විදුසර 1993 නොවැම්බර්)

ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරිමාර්ග පද්ධතින්හි පරිණාමය හා වර්ධනය පිළිබඳ කතාකරන විට මෑතක් වනතුරු පිළිගෙන තිබු මතය වුයේ ආර්.එල්.බ්‍රොහියර් මහතා 1956 දි ඉදිරිපත් කළ අදහසයි. එවකට ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ සභාපතිව සිටි ඒ මහතා රම වසරේ පැවති සංගමයේ 50 වැනි සැසි වාරයේ දි සභාපති දෙසුමින් මෙම අදහස ඉදිරිපත් කර ඇත. ඔහුගේ මතයට අනුව ශ්‍රී ලංකාෙවි පැරණි වාරිමාර්ග පද්ධතින්හි පරිණාමය ප්‍රධාන අදියර 4 කින් දැක්විය හැක. එනම්,
  1. නිදහසේ ජලය ලබාදුන් වැස්සෙන් පෝෂණය වු වැව්
  2. කුඩා ග්‍රාමිය වැව්
  3. කුඩා ග්‍රාමිය වැව් ගණනාවක් ජලට යට කරමින් ඇති කළ ජලය ගබඩා කර ගන්නා විශාල ජලාශ
  4. ගලා බසින ගංඟාවක් හරහා ඉදිකළ අමුණක් මගින් ඇළ මාර්ගයකට ජලය හරවා එවන විටත් ගොඩනගා තිබු විශාල ජලාශයක් පෝෂණය කිරිමට යොදා ගැනිම.

ශ්‍රී ලංකාවේ වාරිමාරිග සංවර්ධනය ක්‍රි.පූ. 3 වන සියවසේ සිට දක්නට තිබුණ ද වාරිමාර්ග පද්ධති වර්ධනය දක්නට ලැඛෙන්නේ පස්වන සියවසෙන් පසුවයි. ශ්‍රී ලංකාව තුළ ගංඟා හැරවුම් පද්ධති වල ඉතිහාසය, එහි ලිඛිත ඉතිහාසය ඇරඹෙන ක්‍රි.පූ. 3-2 වන ශතවර්ෂවලින් ද ඔබ්බට දිවෙයි. සොරොව්ව සොයා ගැනිම සිදුවන්නට ඇත්තේද ක්‍රි.පූ. 3-2 ශතවර්ෂ අතර කාලය තුළ දී යැයි විශ්වාස කෙරෙයි. ශ්‍රී ලංකාවේ පැරණි වාරි මාර්ග ක්‍රම පිළිබඳ බොහෝ ඇසු පිරු තැන් ඇත්තකු වූ ආර්.එල්.බ්‍රොහියර් මහතා මෙබඳු සාවද්‍ය නිගමනයකට එළඹීමට හේතුව එවකට සිටි ජල ඉංජිනේරුවන්ගෙ සංකල්පවල බලපැම නිසා බව දැන් පැහැදිලි වී ඇත.

ශ්‍රී ලංකාවේ මුල් කාලීන ආර්ය ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ ගංඟා නිම්න ප්‍රදේශවලයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙසට වැවට මුල්තැන දෙමින් ආර්ථීක සංවර්ධනය ඇති කිරිමට සෑම රාජ්‍ය පාලකයකුම යුහුසුළු වී තිබේ. විශාල වාරිමාර්ග, වැව් නිර්මාණය කරමින් මනා ජල පාලනයක් ඇති කිරිමට සෑම රාජ්‍ය පාලකයෙක්ම උත්සාහ දරා තිබේ.

පැරණි සිංහලයන්ගේ වාරි කර්මාන්තයේ මූලික ලක්ෂණ හදුනා ගැනීම ජල පාලනය පිළිබඳ ඔවුන් ලඟ තිබු දර්ශනය වටහා ගැනිමෙහිලා උපකාරිවේ. ගම් මට්ටෙමි වැව් තැනිමේ දී ඔවුන්ගේ අභිප්‍රාය වුයේ දෛනික ජීවිතයට අවශ්‍ය වූ ජලය ලබා ගැනිමයි. වියළි කාලයේදි ගොවිතැනට අවශ්‍ය වැඩිපුර ජලය ලබා ගැනිමට කදුකරයේ ඇති ස්වාභාවික ජල සම්පත ප්‍රයෝජනයට ගැනිමට ඇළ වේලි කපා ගංඟා ඇළ දොළ ජලය ගොවිපලට ගෙන ගියේය. වැසි කාලයේ ලැඛෙන අමතර ජලය වියළි කාලයේ දී ප්‍රයෝජනයට ගැනිම සඳහා ගබඩා කිරිමට මහා පරිමාණයේ වැව් තැනිම ඇරඹීය.

මහා ජලාශවල රැස්කරන ජලමෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඒ ජලයෙන් පෝෂණය වු කුඩා ග්‍රාමීය වැව් පද්ධතියක් තනන ලදි. ’එකකින් පිටවි යන ජලය ඊලඟ වැවට ගොස් එතනින් තවත් එකකට යමින් ගම්වැව් එම ජලය ප්‍රයෝජනයට යොදා ගැනිමෙන් පමණක් මුහුදට ගලායාමට සැලැස්විම අරමුණ විය.(ආර්.එල්.බ්‍රොහියර් 1934)

මහා පරිමාණය් වැව් උස් භූමි භාගවල තනා, කුඩා වැව් පද්ධතින් ඊට පහළින් සිටින ලෙස තැනිම නිසා ජලය හැසිර වීම පහසු විය. තැනිතලා බිම් වල ඇළ වේළි මගින් ජලය ගමන් කරවිම දුෂ්කර කාර්යයක් ලෙස නොසලකන ලදි. කලා වැෙවි සිට අනුරාධපුරය දක්වා සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 17 ට බැස්ම ඇත්තේ සැතපුමට අඟල් 6 බැගිනි. මෙය පැරැණ්නන්ගේ ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ට කුශලතාවයක් ලෙස අසත් සලකයි.

වසභ රාජ්‍ය සමයේදි (ක්‍රි.ව. 67-111) අඹන් ගඟ හරහා ෙවිල්ලක් බැඳ එහි ජලය උතුරු දිශාවට යොමු කරවන ලද ඇළහැර ඇළ වාරිමාර්ග තාක්ෂණ වර්ධනයේ ඉතා වැදගත් අදියරකි. දියලූ වැව් වල බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙද ඉදිකර ඇත. මෙසේ ඉදිකිරිම් කටයුතු කර ඇත්තේ ජල ධාරිතාව නිසා වැව් බැම්මට වන හානිය වලක්වා ගැනිම සඳහාය. (ඉන්ද්‍රකීර්ති සිරිවිර 1993) වර්තමාන ඉංජිනේරුවන් මවිතයට පත්කරවන ශිල්පීය ඥානයක් එකල භාවිතාකර ඇති බව ඇළවල් හා වැව් දෙස බැලිමෙන් මොනවට පැහැදිලි වෙයි.

ඇළක් දොළක් හරස් කර වැවක් තැනිමට ඉදිකරන වෑ කන්ද වැව් ජලය රදවා ගැනිමට හැකිවන ලෙස පස් හා ගලින් නිර්මාණය කර ඇත. හෙන්රි පාකර් පවසන පරිදි ටොන් දහසක බර ගල් පවා පරාක්‍රමබාහු රජුගේ ඇතැම් වාරිමාර්ග ඉදිකිරිම් වලට භාවිතා කර ඇත.

වැව් බැමි ආරක්ෂා කිරිමට වැවේ ප්‍රමාණය අනුව ගල් ඇතිරිමෙන් ඉදිරිපත් කල ඉදිරිපත් කල ’රලපනාව වැව් වල ඇති තවත් විශේෂ ලක්ෂණයකි. ස්වාභාවික ජල බැස්ම සැලකිල්ලට ගෙන වැවේ වැඩි ජලය පිට කිරිමට තනා ඇති වාන පිටවාන නම් වේ.

ජල පාලනයේ වැදගත්ම අංගය වුයේ සොරොව්වයි. සාමාන්‍ය ප්‍රමාණයේ වැවක සොරොව් දෙකක් තිබේ. වැවේ ජල මට්ටම ඉහළ ගිය විට සාපේක්ෂව උස්බිම් ප්‍රදේශ සඳහා ජලය සපයන අයුරින් ඉහළ මට්ටමකින් ගොඩ සොරොව්ව පිහිටුවා ඇත. වැවේ මඩ ඉන් ඉවත් කිරිමට බැම්මේ පතුලින්ම පිහිටි මඩ සොරොව්ව නමින් හැදින්වෙන සොරොව්වක්ද දක්නට ලැබේ. පුරාණ වාරි මාර්ග ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂතම නිර්මාණය ලෙස සැලකෙන්නේ බිසෝකොටුවයි.

විශාල හතරැස් ළිදක ආකාරයෙන් තනා ඇති බිසෝකොටුව කානුවක් මගින් වැවේ ජලය ගලා එන්නට සලස්වන ලදි. බිසෝකොටුවේ සිට ඇළ මාර්ග වවලට ජලය පිට කරන ලද්දේ එබදුම කානුවනකිනි. මේ ආකාරයෙන් බිසෝකොටුව මගින් පිටවන ජල ධාරිතාව පාලනය කරගත හැකි විය. අක්කර දහස් ගනනකට කොපමණ ජලය මුදාහැරිය යුතුද යන්න තීරණය කොට ඒ අනුව ජලය මුදාහැරිමට බිසෝකොටුව උපකාරිවේ. (ඉන්ද්‍රකීර්ති සිරිවීර 1993) මෙම කරුණු විමර්ශනය කර බලන විට පුරාණයේ වාරි කර්මාන්ත නිර්මාණයෙහිලා මනා වු ජල කළමනාකරණ පද්ධතියක් තිබු බව පිළිගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ තරම් දියුණු වුත් පුළුල් වුත් වාරිකර්ම ලෝකයේ වෙනත් කිසිම රටක නොවු බව ඛෙල් නැමති ඉංග්‍රීසි ලේඛකයා පවසා ඇත. පෙර කරන ලද අති විශාල වැව් කර්මාන්ත සමහර විට ලක්සිව තරම් අන් කිසිම රටක දක්නට නොලැබේය යනු මාගේ විශ්වාසයයි. තවද ඒ ඒ සිමාව ඇතුලත දක්නට ලැඛෙන තරම් වැව් අමුණු කර්මාන්ත අන්රටක දැකීම දුෂ්කර ය. (බදුල්ලේ සභාපති ඛෙලි මහතා විසින් 1981 ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරි පත් කල වාර්තාව)

ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයෙන් ඇතැම් විට ඉන්දියාව පවා ආභාෂය ලැබු බවට සාක්ෂි ඇත. කාශ්මීරයේ රජු අටවන ශත වර්ෂයේ දි එහි ජලාශ ඉදිකිරිම සඳහා ශ්‍රී ලාංකේය වාරි ශිල්පීන්ට ආරාධනා කළ බවට දොලොස්වන ශත වර්ෂයේදි රචිත කාශ්මීර වංශ කතාවේ වනරාජ තරංගනියේ ඉඟියක් කර ඇත.

වාරිමාර්ග තාක්ෂණය පිළිබඳව හෙන්රි පාකර්, ආර්.එල්.බ්‍රොහියර්, සී.ඩබ්.නිකොලස්, ආර්.ඒ.එල්.එච්.ගුණවර්ධන යන විද්වතුන් විසින් පුළුල් ලෙස පර්යේෂණ කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තරම් සංකීර්ණ හා ශිල්පිය දැනුම අතින් විශිෂ්ට දියුණුවක් පෙන්වන ලද වාරිමාර්ග පද්ධතියක් දක්ෂිණ ආසියාවේම නොවීය. ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පද්ධතිය එකිනෙකට සම්බන්ඳ වීම සුවිශේෂ ලක්ෂණයකි. මේවා සම්බන්ඳ කරන කෘතීම ඇළ මාර්ගයන්හි බැස්ම සැතපුමකට අඟල් 6 ක් පමණ වීමෙන් පෙන්නුම් කරන්නේ මිණුම් හා ඉදිකිරිම් තාක්ෂණයේ පැවති දියුණුවයි.

එකල වාරිමාර්ග පද්ධතියේ නඩත්තුව, වැව් ජලය භාවිතය හා ඛෙදාහැරිම ආදියකරනු ලැබුවේ ගොවින් අතරින්ම තෝරාගත් වෙල්විදානේ හෙවත් ගමරාළ යන අරුත් ඇති ගැම් නායකයා විසිනි. වෙල් විදානේගේ අනසකට ඒ වැවේ වතුර ගන්නා සියලූ ගොවීන් යටත් වෙයි. එසේ නොවුන විට දඩ ගහන්නට ඔහුට අයිතියක් තිබුණි. ගමරාළ හා ගොවින් රැස්වි ජලය ලැඛෙන ආකාරය අනුව වගාකල යුතු බිම් ප්‍රමාණය අනුව වී වගා කාල සටහන ආදිය කන්න රැස්වීමේදි තීරණය කරයි. වැවෙහි ජලය ප්‍රමාණය වාරිමාර්ග අවශ්‍යතා සදහා ප්‍රමානවත් නොවු විට ඛෙත්ම ක්‍රමය උපයෝගි කරගත්හ. මෙහිදි වඩා ජල පහසුව ඇති වැවට ආසන්න කොටස වගා කළ අතර ඉතිරි කොටස අත් හරින ලදි. මෙම තෝරා ගත් කොටස ගොවින් අතර සමාන කොටස් වලට ඛෙදනු ලැබේ. පැරණි ලංකාවේ තිබු විධිමත් ජල කළමනාකරණය නිසා සාර්ථක ලෙස කෘෂිකාර්මික කටයුතු කරගෙන ගිය බව අපට නිගමනය කළ හැකිය.

වැව් රාජකාරියේදි ගමරාළ විසින් ඇණබෝල් බැඳීම කරනුයේ වැවේ සොරොව්වේ, ඇළේ, වානේ, වේල්ලේ, අමුණේ ආදි කොටස් වලය. ඇණබෝල් බැඳීමේ පරමාර්ථය වශයෙන් දක්වා ඇත්තේද කුඹුරු වැඩ වලදි සිරිතෙන් පිට ජලය ගැනිම ආදිය නීති විරෝධි ක්‍රීයා තහනම් කිරිමටය. පුරාණ ගම්වල තිබු වැව්වල ඉතා වැදගත් අංගයකි අමුණු. වෙල්යාය දෙපසට ජලය ඛෙදා හැරිම පහසු කිරිමට මෙම අමුණ නිර්මාණය කර ඇත. වර්ෂාව පවතින කාලවල දී වැඩි වතුර ප්‍රමාණයක් රදවා තබා ගැනිමට වැව් වාන උස් කර බැදීම ගම්මුන්ගේ සිරිත විය.

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය නිසිකලට ලබා දුන් අතර වැසියාගේ වගකීම වුයේ පනවා ඇති සමිමත නීති අනුව ජලය පරිහරණය කරමින් වගා කටයුතු ගෙන යාමයි. හතර වන දප්පුල (ක්‍රි.ව. 924-935) රජු විසින් කරවන ලදැයි සැලකෙන කොන්ඩුවටුවාන ටැම් ලිපියේ ජල පාලනය පිළිබඳ එදා පැවති නිති රීති ගැන කියවෙයි. හතර වැනි දප්පුල රජු සමයේ දිගාමඩුල්ලේ ඇරගම නම් වු ග්‍රාම සම්බන්ඳයෙන් පනවන්නට යෙදුනු නියෝග මාලාවක් කොන්ඩුවටුවාන ජලාශය ඉස්මත්තේ ගල් තලාවේ තිබි සොයාගන්නා ලද ටැම් ලිපියේ අඩංගුවේ. "කුඹුරු ගැලීමේ නොහොත් නියර ඉස්සවා වතුර යාමට ඉඩ හැරීමි වරදට අක දෙකක් දඩ නියම කළ යුතුය. සී සෑම සම්බන්ධ වරදට කලං දෙකක දඩයක් නියම කළ යුතුය. පමාවී හාපු වරදට කලං පහක දඩයක් නියම කළ යුතුය."

ජල කළමනාකරණයේ ඇති වැදගත්කම ක්‍රි.ව. 1153-1186 දක්වා පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ "අහසින් වැටෙන එක වැහි බිදකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය." යන ප්‍රකාශය තුළ ගැබ්ව තිබේ.

නිසි පරිදි ජලය ඛෙදිම සිදුවේදැයි පරික්ෂා කිරීම සඳහා රජු විසින් නිළධාරිහු පත් කරන ලදහ. ක්‍රි.ව. 9 සහ 10 වන ශත වර්ෂයන්හි ශිලා ලිපි වල සදහන් පියොවදාරනන් නම් පදයෙන් හැඳින්වෙන්නේ වාරි මාර්ග පරීක්ෂකයන් හෝ ජලය ඛෙදිම පරික්ෂා කළ නිළධාරින් හෝ බව විශ්වාස කරනු ලැබේ.

ආදි බ්‍රාග්මී ශිලා ලිපි සදහන් වන අනනිත හා අඩිකය යන පද දෙකෙන් හඳුන්වන්නේ වාරිමාර්ග ඉංජිනේරුවකු හා ඇළවල් කටයුතු භාර නිළධාරියෙකු බව එස්.පරණවිතාන මහතා දක්වා ඇත.මෙලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණ දෙස බලන විට නුතන ඉංජිනේරුවන් මවිතයට පත් කරවන වාරි තාක්ෂණයක් තිබු බවට පැහැදිළිය.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: