සිතේ ස්වරූපය හා පුද්ගල අනන්‍යතාව

සිත යනුවෙන් භෞතිකව හඳුනාගැනීමට සුවිශේෂිත ඉන්ද්‍රියක් විද්‍යමාන නොවෙතත් සිතේ ගති ස්වභාවයට අනුව එවැනි ඉන්ද්‍රියක ක්‍රියාකාරීත්වය අපට හොඳින් ප්‍රත්‍යක්ෂය.මිනිස් මොළය,හදවත,ස්නායු, මොළයේ රසායනික ද්‍රව්‍යය, මොළයේ විද්‍යුත් ක්‍රියාතාරීත්වය,සම හා වෙනත් සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැනි දේ මඟින් සිතෙහි ගති ලක්ෂණ ප්‍රකට කරනු ලබන බව අපි අත්දැකීමෙන් දනිමු.සිතෙහි මූළික ලක්ෂණය දැනෙන හැ‍ඟෙන විඳින ස්වභාවයයි.සංජානන, ආවේදන හා චර්යා යන පැතිකඩ මඟින් විග්‍රහවනුයේද සිතෙහි මෙබඳු විවිධ ක්‍රියාකාරීත්ව ස්වභාවයන්ය.එම නිසා සිත යනු භෞතිකව නිශ්චිත ස්ථානයක පිහිටා ඇති දෙයක් යැයි සැලකීමට වඩා අපගේ භෞතික සිරුරේ පිහිටි අභ්‍යන්තර ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය මඟින් ජනිතවන ශක්ති මූළයක් ලෙස සැලකීම වඩාත්ම උචිතය.එහෙයින් සිත භෞතිකව සෙවීම නිෂ්ඵලවූවකි.ආහාර හේතුප්‍රත්‍ය සියළුදේ සම්පූර්ණවීමෙන්පසු එය උපස්ථම්භකොටගෙන සිත පහළවීමට උචිත පරිසරය නිර්මාණයවේ.

         සිත නැමැති ඒ ශක්ති ක්‍රියාකාරීත්වය ආරම්භවනුයේ ඒ සඳහා උචිත පරිසරයක් ලද විටකදීය. සිත නැමැති ශක්ති මූළයේ ක්‍රියාකාරීත්වය ඇරඹීට උචිත පරිසරයක් සකස්වීම හා සිතේ ආරම්භය එකවිටම වාගේ සිදුවේ.ඇතැමෙකු සිතන ආකාරයට සිත වනාහී ආත්ම ස්වරූපී දෙයක් නොවේ.වෙනස්වෙමින් අඛණ්ඩව ගලායන ශක්ති ප්‍රවාහයකට සිත යැයි සාමාන්‍ය ව්‍යවහාරය අනුව හඳුන්වනු ලැබේ.ලෝක සම්මත ව්‍යවහාරය අනුව ශක්ති ප්‍රවාහ ලෙස හඳුන්වනු ලබන විදුලිය,ආලෝකය,තාපය වැනි දේ සමඟ සංසන්දනය කරබැලීමෙන් සිතේ ශක්ති ක්‍රියාකාරීත්වය පිළිබඳව වැටහීමක් ලැබිය හැක.නමුදු විදුලිය,ආලෝකය හා තාපය වැනි දේ භෞතික ශක්ති ප්‍රවාහවේ.සිත ආධ්‍යාත්මික ශක්ති ප්‍රවාහයකි.භෞතික ශක්ති ප්‍රවාහයකත් ආධ්‍යාත්මික ශක්ති ප්‍රවාහයකත් විශාල වෙනසක් ඇත.නමුදු හඳුනාගැනීම පහසුවීම සඳහා සිතේ ශක්ති ක්‍රියාකාරීත්වය භෞතික ශක්ති ප්‍රවාහ සමඟ සසඳා බැලීම ප්‍රයෝජනවත්ය. ‍භෞතික ශක්ති ප්‍රවාහයන්හි විද්‍යමාන සුවිශේෂිතාවයවනුයේ ඒ ශක්ති වෙනත් ශක්ති මූළයකට පරිවර්තනය කළ හැකිවීමයි.මේ අනුව විදුලි ශක්තිය ආලෝකය,තාපය වැනි වෙනත් ශක්ති බවටද ආලෝකය,තාපය,චාලක ශක්තිය වැනි වෙනත් ශක්ති මූළ විදුලි ශක්තිය බවට ද පරිවර්තනය කළ හැකිය. මේවායේ පරමාණු,ප්‍රෝටෝන,ඉලෙක්ට්‍රෝන වල චලිතය හා ක්‍රියාකාරී අණු සැකසුම බලය යොදා වෙනස්කීරීම මඟින් ශක්ති මූළය තමා අභිමතසේ වෙනස්කළ හැක. සිත ආධ්‍යාත්මික ශක්ති ප්‍රවාහයක් බැවින් භෞතික ශක්ති ප්‍රවාහයන්ටද වඩා සූක්ෂමතාව,ශක්තිය බලය අධිකය.චිත්ත ශක්තිය විදුලිය, ආලෝකය, තාපය, චාලක ශක්තිය වැනි වෙනත් භෞතික ශක්ති මූළයන්ට අවශ්‍ය විටක පරිවර්තනයකළ හැක.ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතී.ලෞකික ධ්‍යාන පාදක විවිධ සෘද්ධි,අභිඥා එසේ පරිවර්තිත චිත්ත ශක්තියයි. චිතතාවේග යනුවෙන් හැඳින්වෙනුයේ වේගවත් සිතිවිලිය. අපගේ මානසික ස්වභාවය අනුව සිතිවිලිවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙහි වේගය උපරිම හෝ අවම වේ. සාමාන්‍යයෙන් වේගයවත් සිතිවිලි සිතේ ඇතිවනුයේ අප ආවේගශීලීබවින් කුපිත වූ විටය.මීට ලෝභ,දෝස හෝ මෝහ යන මූළික අරමුණු ත්‍රිත්වය හේතුවේ.මේවා සෘණාත්මක මානසික ආවේග වශයෙන්ද සැලකේ.එසේ සැලකෙනුයේ මෙබඳු චිත්තාවේග නිසා මනුෂ්‍යත්වය පහත හෙළීමට සමත්වන සුළු චර්යා මිනිසුන් අතින් වියහැකි හෙයිනි.අනෙක් අතට වේගවත් සිතිවිලිබැවින් මෙබඳු සිතිවිලිවල හොඳ නරක යහපත අයහපත හඳුනාගැනීමට ඉඩප්‍රස්තාවක් නොලැබේ. 

            මානසික ආතතිය ඇතිවීමට මෙබඳු සෘණාත්මක චිත්තාවේග බෙහෙවින් ඉවහල්වේ.මානසික පමණක් නොව ශාරීරිකව පවා රෝගීකරවීමට මෙබඳු සිතිවිලි සමත්ය. ඇතැම් අවස්ථාවලදී ස්වභාවයෙන් සිත සංසිඳී ඇතිවිට සිතට පහළවන සිතිවිලිවල එතරම් වේගවත් බවක් දක්නට නැත.මනස සැහැල්ලුවට පත්කරවන්නේ මෙබඳු මන්දගාමී ස්වභාවයේ සිතිවිලිය.මෙබඳු සිතිවිලි කෙසේවත් චිත්තාවේග ලෙස මනසෙහි ඇතිනොවීම මනසට සුවදායී බවක් හා සැහැල්ලුවක් ගෙනදීමට සමත්වේ.සාමාන්‍යයෙන් කුශල පාක්ෂික සිතිවිලි ලෙස සැලකෙන සියළු චිත්ත ක්‍රියාකාරී තත්වයන්ම මෙම කාණ්ඩයට අයත්ය.අලෝභ,අදෝස හා අමෝහ යන මූළික අරමුණු ත්‍රිත්වය පදනම්කරගනිමින්ම මෙබඳු චිත්ත ස්වභාවයන් හටගනියි. සාමාන්‍යයෙන් සිතිවිලි හෙවත් චිත්තාවේග යනුවෙන් අදහස් වනුයේ කිසියම් වේගයකින් ක්‍රියාකරන සිතම බව පැහැදිලිවේ.සිත ක්‍රියාකිරීමට අරමුණක් පැවතිය යුතුය.එම අරමුණ හොඳ හෝ යහපත් වන විට සිතිවිලිවල වේගය අවම මට්ටමක රඳා සිටින අතර එය සැහැල්ලු හා සුවදායී වේ.එසේම සිතට අරමුණුවන දේ නරක හෝ අයහපත් වනවිට එය අරමුණු කරගෙන බිහිවන සිතිවිලි වේගවත් වන අතර එය මානසික ආතතිය හා පීඩනය ගෙනදීමට සමත්වේ. සිතේ ක්‍රියාකාරීත්වය අරමුණු අනුව වෙනස් අගයක් ගනියි.මින් පැහැදිලි වනුයේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වය කිසියම් චලන ගුණයකින් සමන්විත බවයි. සාමාන්‍ය ව්‍යවහාරයේහි දී ආවේගශීලී වීම ලෙස හැදින්වෙන තරමට මිනිස් ආවේගයන්හි ක්‍රියාකාරීත්වය ඉහළ ගිය විටක මිනිසා කුපිත වූ ස්වභාවයකට පත් වේ. එය ද්වේෂයෙන් හෝ රාගයෙන් හෝ වෙනත් මිනිස් හැගීමකින් හෝ විය හැකිය. 

         මිනිස් සිතෙහි මානසික ආවේගයන් හටගන්නේ ඇයි? ඔබ මෙය සැලකිල්ලට ගත්තෙහි ද? මිනිස් සිත සෑම විටක දීම විවිධ අරමුණු ගනියි. එය අතරක් නොමැතිව පවතින දෙයකි. එයට කිසියම් අරමුණක් පැමිණි කල එහි එල්බගෙන එක සමාන සිත් රැසක් පහළ කරවයි. සිත කිසියම් එක අරමුණක රැදී පවතිනවා යැයි අප පවසන්නේ ‍ෙමබදු අවස්ථාවලදීය. සිතෙහි ගොඩ නැගෙන හා ගොඩනගා ගන්නා විවිධ මානසික අරමුණු හා ප්‍රක්ෂේපන මහත් රාශියකට සිත නිරන්තරයෙන් මැදිවී පවතියි. සිතේ සාමාන්‍ය ස්වභාවය මෙබදුය. සාමාන්‍යයෙන් අප කරදර හා ගැටළු විවිධ අසහනමය තත්වයන් රැසකට මැදිව ඇති බව අපට දැනෙන්නේත් හැගෙන්නේත් මේ ආකාරයට මනසට වධ වේදනා ගෙන දෙන මේ ආකාරයේ සිතෙහි පැවැත්ම විටක අපව මහත් පීඩනයකට පත් කරවන බැවිනි. සිතේ ගති ස්වභාවය මහත් වෙහෙසකට පත් කරවන හා විවිධ මානසික ආතතීන් ජනිත කරවීමට සමත්කමක් දක්වන ප්‍රධානතම උත්ප්‍රේරකයක් වන්නේ සංජානන පැතිකඩ ( Profile of Cognition ) යටතේ ඉන්ද්‍රියානුසාරයෙන් ගනු ලබන විවිධ අරමුණු සාවද්‍යව ග්‍රහණය කර ගැනීමයි. මෙකී සාවද්‍ය සංජානනය ඇතිවන්නේ සියළු ජීව සමූහයා අතරින් තමන් යැයි එක් පුද්ගලයෙකු වෙන් කරගෙන සැලකීම නිසාය. ස+කාය යන අර්ථයෙන් ගනු ලැබූ විට කාය යනුවෙන් අදහස් කරන්නේ ස්කන්ධ පංචකය හෙවත් තමාගේ ශරීරයයි. “ ස ” යනු තමාගේ හෝ ස්වකීය යන අර්ථය දේ. එවිට ස+කාය සන්ධි වීමේ දී කියැවීමේ පහසුව සදහා කාය ශබ්දයේ මුල් කා ශබ්දයට පෙර තවත් අතිරේක “ක්” අක්ෂරයක් එක්වී ස + ක් + කාය = සක්කාය ලෙස එම වචනය සන්ධි වේ. එයින් අදහස් වන්නේ පංචස්කන්ධයේ එක් එක් ස්කන්ධ කොටසක් පාසා වෙන වෙනමත් අවසාන විග්‍රහයේ දී සියලු ස්කන්ධ පංචකය කෙරෙහිමත් “ස්වකීය හෙවත් තමා හො‍් තමාගේ” යන හැගීම මෙයින් අදහස් වන බවයි. “අත්ත” ලෙස දැක්වෙන්නේත් මේ අදහසමය. අත්ත යනු ස්වකීය තමා හෝ තමාගේ යන අර්ථයයි. ආත්මය යන අර්ථයෙන්ද ඇතැම් විටක දී හින්දු ආදී වෙනත් සමයවාදයන්හි මේ අත්ත ශබ්ද භාවිතා කරතත් බුදු සමය එය ව්‍යවහාර කොට ඇත්තේ දාර්ශනික පක්ෂයෙන් ආත්ම අර්ථයට වඩා ස්වකීය යන අර්ථය ලබාදීම පිණිසය. අත්ත ස්වභාවයෙන් ස්කන්ධ පංචකය වියුක්ත බැව් දක්වා ඇත්තේ අත්ත ශබ්දයෙහි නිශේධාර්ථය ලෙස අනත්ත ශබ්දයෙනි. න+ අත්ත = අනත්ත ලෙස මෙම නිශේධාර්ථය සැකසී ඇත. ත්‍රි ලක්ෂණයෙහි එක් ලක්ෂණයක් ලෙස ද අනත්ත දක්වා ඇත. විශුද්ධි මාර්ගයෙහි අනත්ත ශබ්දය තව තවත් විස්තාරිත කොට දක්වා ඇත. එහි සංජානන පැතිකඩ යටතෙහි බුද්ධිමය දායකත්වය සැපයෙන අයුරිනුත් ආවේදන පැතිකඩ ( Profile of Affective ) යටතෙහි හැගීම් හා ආවේග සමනය වන අයුරිනුත් චර්යා පැතිකඩ යටතේ හැසිරිම් රටාව සංස්කරණයට ලක්වන අයුරිනුත් දක්වා ඇත. සාමාන්‍යයෙන් සීල ශික්ෂණය ලෙස හැඳිවෙනුයේද ධනාත්මක චර්යා සංස්කරණයයි.බුද්ධිමය දායකත්වය සැපයෙනුයේ මෙහි ඉහත විස්තර කළ ආකාරයට සියලු ජෛව වර්‍ගයා අතරින් ස්වකීය ලෙස වෙන් නොකළ හැකි බව පෙන්වීම මගිනි. හැගීම් හා ආවේදන සමනය වනුයේ ස්කන්ධ පංචකයම පිළිකුල් වශයෙන් සැලකීම තුළිනි. ත්‍රි ලක්ෂණයෙහි මෙය දුක්ඛ ලක්ෂණය ලෙස දැක් වේ. චර්යාවන් සංස්කරණය වනුයේ විරති වශයෙන් දුරු කළ යුතු දෙයක් සේ දැක්වීමෙනි. ත්‍රි ලක්ෂණයෙහි මෙය අනිත්‍ය ලෙස දැක් වේ. 

        ප්‍රජානන පැතිකඩ යටතෙහි අනත්ත සංඥාව වැඩීම මගින් නුවණ දියුණු වී ප්‍රඥා ශික්ෂාව ඇති කෙරේ. ආවේදන පැතිකඩ යටතෙහි දුක්ඛ සංඥාව වැඩීම මගින් ආවේග සමනය වී සමාධි ශික්ෂාව ඇති කෙරේ. චර්යා පැතිකඩ ( Profile of Behavior ) යටතෙහි අනිත්‍ය සංඥාව වැඩීම මගින් පුද්ගලයා ධනාත්මක ආකල්ප ( Positive Attitude ) වලින් යුක්ත චර්යා සංස්කරණයකට ලක්වන අයුරින් සීල ශික්ෂණය වර්ධනය කෙරේ. අනත්ත සංඥාව වර්ධනය කිරීමෙන් ශුන්‍යත විමොක්ඛය මගින් සියළු ජෛව වර්‍ගයා සත්ව පුද්ගල වශයෙන් සාර යයි සත් යැයි ගත නොහැකි, සාපේක්ෂ වශයෙන් පමණක් ගතහැකි, හේතු ප්‍රත්‍ය සමවාය අනුවමට හටගෙන එහි ක්‍රියාකාරීත්වය නිසාම පවතින, නිරපේක්ෂ අගයක් රහිත සත්තාවක් පවතින බව ද, දුක්ඛ සංඥාව වර්ධනය කිරීමෙන් අපණ්හිත විමොක්ඛය මගින් සුව දුක් ආදී සියළු විදීම් අතෘප්තකර ස්වභාවයක් ගන්නා බව ද, අනිත්‍ය සංඥාව වර්ධනය කිරීමෙන් අනිමිත්ත විමොක්ඛය මගින් සියළු ප්‍රඥප්ති ධර්‍මයන් ස්ථිර නොවන මායාකාරී ස්වභාවයකින් යුක්ත බව ද ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගනියි. සත්‍යාවබෝධයෙහි ලා පුද්ගල ප්‍රජානන ශක්තිය පුථු ප්‍රඥා, තීක්ඛණ ප්‍රඥා, ගම්භිර ප්‍රඥා, ජවන ප්‍රඥා, මන්ද ප්‍රඥා යනාදී වශයෙන් ප්‍රභේදකර වේ. මෙයින් ශුන්‍යත විමොක්ඛය මගින් නිර්වාණාවබෝධයට සමත් වන්නේ මෙහි තීක්ඛණ, ගම්භිර යනාදී වශයෙන් දක්වා ඇති අධිකතර ප්‍රඥාව ඇති පුද්ගලයන් වන අතර අනිමිත්ත විමොක්ඛයෙන් නිර්වාණාවබෝධයෙහි ලා සාමාන්‍ය ප්‍රඥාවක් ඇති පුද්ගලයන් සමත්කමක් දක්වන බව ද අපණ්හිත විමොක්ඛය යටතේ නිර්වාණාවබෝධය ලබා ගන්නේ බෙහෙවින්ම මන්ද ප්‍රඥා සහිත පුද්ගලයන් සමත්වන බව ද ආභිධම්මික විවිරණ මගින් හෙළි වේ. මෙයින් පැහැදිලි වන්නේ සත්‍යාවබෝධයෙහි ලා පුද්ගල හා ප්‍රජානන විශේෂතා ද බලපානු ලබන බවයි. බුදු සමයේ සංකල්ප පිළිබද මේ තරම් දිගු විස්තරයකට එළඹියේ ප්‍රධාන වශයෙන් සෙසු ජෛව වර්‍ගයා අතරින් තමා යනුවෙන් කෙනෙකු හෝ පුද්ගලයෙකු වෙන්කොට සැලකීම දුරු කිරීම සදහා බුදු සමය උපාය මාර්ගික වශයෙන් විවිධ ක්‍රමවේදයන් රැසක් භාවනා ක්‍රම ලෙස ඉදිරිපත්කොට තිබීම පැහැදිලි කිරීම පිණිසය.දුක හටගැනීමට හේතුව පෙන්වා දුන්නාක් මෙන්ම දුක් නැති කිරීමට මාර්ගය ද බුදු සමයෙහි ඉතාමත්ම ක්‍රමානූකූල ලෙස පෙන්වා දී තිබේ. එය අතිශයින්ම ප්‍රයෝගික මාර්ගයක් ලෙසය. කෙසේ හෝ එයින් කෙරෙන්නේ සංජානන, ආවේදන හෝ චර්යා වශයෙන් මිනිස් සිත ක්‍රමානූකූලව නිවැරදි ලෙස ආකල්ප ඇතිවෙන පරිදි හැඩගැස්වීමයි.

දර්ශනපති සුජිත් නිශාන්ත හේවගේ

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: