ඒබ‍්‍රහම් ලින්කන් ගැන

ඒබ‍්‍රහම් ලින්කන් උපන්නේ 1809 පෙබරවාරි 12 දින ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප‍්‍රදේශයේදීය. ඔහුගේ පියා තෝමස් ලින්කන් නම් වූ අතර, ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු සහ ගොවියෙතු විය. මව නැන්සි හැන්ක්ස් නම් වූවාය. ඒබ‍්‍රහම්ට සාරා නමින් වැඩිමහල් සොයුරියක් ද, තෝමස් නමින් බාල සොයුරෙක් ද වූහ. සොයුරා ළදරු වියේදීම මිය ගියේය. ගොවියෙකු වූ පියා සමග ඉතා කුඩා වියේ සිටම ඒබ‍්‍රහම් ගොවිපළට ගියේය. තිරිඟු වගාව සහ වට්ටක්කා වැවීම සඳහා ඔහු පියාට උදව් කළ අතර විශාල ගංවතුරක් නිසා එය විනාශ විය.කුඩා ඒබ‍්‍රහම් ඇතුළු ලින්කන් පවුල වාසය කළ නිවස සාදා තිබුණේ ලී කොට වලිනි. කුඩා ලී නිවස තුළ ඒබ‍්‍රහම් හා සාරා  ප‍්‍රීතියෙන් විසූහ. නිවස අසල තිබූ ගස් වැල්, කඳු, හෙල්, නිම්න, ඇළ දොළ ආදී ස්වභාවික දසුන් වලින් ඔවුන්ගේ සිත්වලට සතුටක් ගෙන ආවේය. කී‍්‍රඩා කිරීමට අපූරු ස්ථාන ද, සුවඳ බැලීමට සුවඳැති මල් වර්ග ද, බීමට සහ නෑමට පිරිසිදු සීතල ජලය ද, කෑමට පලතුරු ද ඔවුන්ට සුලබ විය. ඔවුන් ගේ මව අකුරු ලිවීමට නොදැන සිටි නමුත් අකුරු කියවීමට දැනගෙන සිටියාය. පියාට හැකි වූයේ නම ලිවීමට පමණි. විවේක සහිත සැන්දෑවල දී මව කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට බයිබලයේ කතා සහ වෙනත් කතා කියා දුන්නාය. ඒවාට ඉතා ආසාවෙන් සවන් දුන් ඒබ‍්‍රහම් ඒ පිළිබඳ වැඩිදුර විස්තර මවගෙන් ඇසුවේය.

වයස අවුරුදු හතේ දී ඒබ‍්‍රහම්ට පාසල් යාමට ලැබුණි. නමුත් ඔහුට දිගටම පාසල් අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ නැත. ඒබ‍්‍රහම්ට අවුරුදු 7 දී ලින්කන් පවුල කෙන්ටකි අතහැර ඉන්දියානා ප‍්‍රදේශයේ පදිංචියට ගියහ. එය වලසුන් ඇතුළු වන සතුන් බහුල ප‍්‍රදේශයක් විය. එහි පදිංචි වී සිටිය දී ඔවුන්ගේ ගව පට්ටියේ සිටි එළදෙනක විෂ සහිත තණකොළ වර්ගයක් කා ලබා දුන් එළකිරි බී මව රෝගාතුර වී මිය ගියාය. ඒ වන විට ඒබ‍්‍රහම්ට වයස අවුරුදු නවයකි. ඊළඟ සීත ඍතුව මවගේ උණුසුමෙන් තොරව ගත කරන්නට ඔහුට සිදු විය. ඊළඟ සීත ඍතුව වන විට පියා ඒබ‍්‍රහම්ට කුඩම්මා කෙනෙකු ගෙන ආවේය. නමුත් ඇය නපුරු කුඩම්මා කෙනෙකු නොවූ අතර, ඇය කුඩා ඒබ‍්‍රහම්ට සහ සාරාට සැළකුවේ ඇයගේම දරුවන්ට මෙනි.කුඩම්මා ඒබ‍්‍රහම්ව පොත් කියවීම කෙරෙහි යොමු කළාය. ඔහු ඊසොප් ගේ උපමා කතා පොත ද, රොබින්සන් කෲසෝ ද කියවන්නට වූ අතර, ඇමරිකාවේ පළමු ජනපති ජෝර්ජ් වොෂිංටන් ගේ ජීවිත කතාව ද කියවූයේය. වොෂිංටන් ජනපතිගේ ජීවිත කතාව කියවීමෙන් ඒබ‍්‍රහම් ගේ සිත තුළ බොහෝ ශ්‍රේෂ්ඨ අදහස් පහළ විය. ඇතැම් දිනවල ඔහු පොත් සොයා සැතපුම් ගණන් දුර පයින් ඇවිද ගියේය.

ඒබ‍්‍රහම්ට වයස අවුරුදු 21 දී ලින්කන් පවුල ඉලිනොයිස් හි පදිංචියට ගියහ. ඒ වන විට ඒබ‍්‍රහම් අඩි 6 යි අඟල් 4 ක් උස දැවැන්තයෙක් බවට පත් වී සිටියේය. එහි දී ටික කලක් ගොවියෙකු ලෙස වැඩ කළ ඒබ‍්‍රහම් ඉන් පසු විවිධ රැකියාවල නිරත වන්නට විය. බෝට්ටු පදවන්නෙකු ලෙස, ගබඩා පාලකයෙකු ලෙස, තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස සහ මිනින්දෝරුවෙකු ලෙසද ඔහු සේවය කළේය. පසුව ඔහුට නීතිය හැදෑරීමට ආසාවක් ඇති විය. තනිවම ගණිතය සහ ව්‍යාකරණ හැදෑරූ ඔහු ඉන් පසු නීතිය ද හැදෑරුවේය. ඉන් පසු ඔහු නීති විභාගය සමත් වී නීතිඥයකු ලෙස දිව්රුම් දුන්නේය. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුවේ කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයෙකු ලෙස තේරී පත් විය. පසුව ඇමරිකා එකසත් ජනපදයේ 16 වන ජනපතිවරයා බවට ද පත්වීමට ඔහු සමත් විය. ඔහුගේ අවංක නායකත්වය නිසා ඔහු ඇමරිකාව තුළ පමණක් නොව මුළු ලෝකය පුරා කීර්තියට පත් විය.
හර්ෂණි ගමගේ

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: