නවීකරණය ගැන සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන්|Modernization


        නවීකරණය යනු  ,වර්තමානයේ අපට නිතර අසන්නට දකින්නට ලැබෙන වදන් අතර “නවීකරණය” එසේත් නැතිනම් Modernization යන්න ප්‍රධාන තැනක් ගනී. නවීකරණය යන සංකල්පය ජන විඥානයට පැමිණියේ සංවර්ධිත සංකල්පයක් වශයෙන් බව සැලකිය හැකිය. නවීකරණය යන්නෙහි අර්ථය සැලකූවිට අලුත් වීම, නවීනත්වයට පත්වීම ලෙසින් පෙනුනද එහි අර්ථය ඊට වඩා පුළුල් වූවක් බව සඳහන් කළ යුතුය. සරලව විවිධ හා විෂම අවස්ථාවන්හි ඒකාබද්ධ වු ක්‍රියාවලිය නවීකරණය ලෙස හැඳින්විය හැකිය. සංකීර්ණ අවස්ථාවන් තුළ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික යනාදි සෑම ක්‍ෂේත්‍රයකම මේ නවීකරණය යන්න හඳුනාගත හැකිය. නවීකරණය දියුණු සමාජ ලක්‍ෂණයක් ලෙස හඳුනාගත හැකි අතර එම සංකල්පය නොදියුණු සමාජ කෙරේ ආදේශ කළ විට එම සමාජයන්ද සංවර්ධිත බවට පත් වෙයි. “කිසියම් සාම්ප්‍රදායික ක්‍රමයක් හෝ නවීකරණය වීමට පෙර පැවති සමාජයක් නව තාක්‍ෂණය හා සමාන්තර සංවිධාන සමඟ හවුල් වී ස්වභාවය වෙනස් කිරීම සඳහා වන පරිවර්තන ක්‍රියාවලිය නවීකරණයයි.” යනුවෙන්  “විල්බට් ඊ මෝර” හඳුන්වන්නේ එහෙයිනි.

                 "Modernization"යන වචනය සෑදි ඇත්තෙ Modo යන ලතින් වචනයෙනි. එහි අර්ථය “Juts now” යන්නයි. මෙම වචනය විවිධ අර්ථයෙන් ඉදිරියට පැමිණ ඇත. සාම්ප්‍රදායික සමාජ දියුණු සමාජ බවට පත් වීම නැතිනම් වෙනස්වීම නවීකරණයයි. ආර්ථික සමෘද්ධිය, නවීකරණය යන වචන තුළින්ද නවීකරණය හැඳින්විය හැකිය. මෙම වචනය ප්‍රථමයෙන් වාණිජ ධනවාදය ගැනීමත් සමඟ යුරෝපය තුළ පළමු වරට කථා විය. යුරෝපා ජාතීන් තුන්වන ලෝකයේ රටවල් යටත් කර ගැනීමත් සමඟ මෙය එම රටවල ද වි්‍යාප්ත විය. මෙම නවීකරණය පුද්ගල හා සමාජ මට්ටමෙන් සිදු වන ක්‍රියාදාමයකි. එනම් සාම්ප්‍රදායික සමාජයේ සිට ශිල්ප ක්‍රමයන්ගේ, තාක්‍ෂණයන්ගේ, ප්‍රාග්ධනයේ හා මානව සම්පත්වල වෙනස තුළින් නවීන සමාජයට පැමිණෙයි. 

           නවීකරණය සම්බන්ධයෙන් වර්තමාන සමාජ විද්‍යාඥයින්ද විවිධ අදහස් ඉදිරිපත් කරන ලදී. නූතන සමාජ විද්‍යාඥයින් විසින් නවීකරණ ක්‍රියාදාමය ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වශයෙන් පෙන්වා දේ. මුරේ පවසන ආකාරයට “සම්පූර්ණයෙන්ම හුවමාරු කළ හැකි ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් ” ලෙසින් නවීකරණය දැක්විය හැකිය. “ගැමි සමාජයක් නාගරික සමාජයක් බවට පත්වීමේ ක්‍රියාදාමය නවීකරණයයි.” යන රෙසිනීල්ඩිගේ අදහස මෙහිදි ඉතා වැදගත් වේ. ( Fuse 1975, Page 07)


    







      

              නවීකරණ ක්‍රියාවලිය 16, 17 වන සියවස් දක්වා දිවයයි. එහි ආරම්භය සිදු වන්නේ මධ්‍යකාලීන යුරෝපය තුළ සිදු වු ආගමික පුනරුදය, කාර්මික විප්ලවය හා ප්‍රංශ විප්ලවය යන ප්‍රධාන සංසිද්ධීන් 03 පදනම් කරගෙන නවීකරණය බිහි විය. මෙහිදි සිදු වු නවීකරණය තුළ දැකිය හැකි ප්‍රධානතම ලක්‍ෂණය වනුයේ පැවති වැඩවසම් සමාජය බිඳවැටී නවතම සමාජයකට පදනම සකස් වීමයි. එනම් නව ධනවාදී සමාජයක් බිහිවීමයි. නවීකරණය පසුකාලීනව විවිධ හේතු මත වෙනත් රටවල සමාජ තත්ත්වයන් වෙනස් කිරීම සඳහා ද පදනම සපයන ලදී.  

              නවීකරණය පිළිබඳව විග්‍රහ කිරීමේදි විවිධ දාර්ශනිකයන් සහ සමාජ විද්‍යාඥයින් ඉදිරිපත් කළ නිර්වචන සහ සංකල්පයන් වැදගත් වෙයි. එහිදි ඩූර්කයිම් ඉදිරිපත් කළ අදහස වඩා වැදගත් වේ. ඔහු සඳහන් කරන ආකාරයට යාන්ත්‍රක ඒකාබද්ධතාවයකින් යුක්ත වු සමාජ සංවිධානයක් ඵෙන්ද්‍රීය ඒකාබද්ධතාවයකින් යුක්ත සමාජයක් බවට පරිවර්තනය වීම තුළින් ශ්‍රම විභජනය ඇති වන අතර ඒ තුළින් ජනතාවගේ සහභාගිත්ව වර්ධනයන් සිදු වේ. (Fuse 1975, Page 1) ඔහු මෙම අදහස සමාජයේ ශ්‍රම විභජනය යන ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. ඒ තුළින් සාම්ප්‍රදායික සමාජය පිළිබඳවත් කාර්මික තත්ත්වයට පත් වු පසු සමාජය පිළිබඳවත්  අදහස් දක්වා ඇත.

       මෙය තවත් ආකාරයකට පවසන “එස්. සී. ඩියුබ්” යන චින්තතකයා “නවීකරණය යනු කිසියම් ක්‍රියාවලියක් සාම්ප්‍රදායික ක්‍රමයේ සිට තාක්‍ෂණික ක්‍රමයට හැඩගැසීම සඳහා හවුල් වු සමාජ ආකෘති වටිනාකම්, හැඩගැස්වීම් හා පෙළඹවීම් යනාදියේ එකතුවක් ” ලෙස සඳහන් කරයි. 

                             මැක්ස් වෙබර් පවසන පරිදි “නවීකරණය තුළින් සාම්ප්‍රදායික යුක්ත සමාජයක් අතිශය                                                         බවින් යුක්ත සමාජ බවට පරිවර්තනය වීම පෙන්වයි.” ( Fuse 1975, Page 1) විබර් මේ පිළිබඳ අදහස් දැක්වීමේදී සංස්කෘතික සාධකවලට මුල් තැනක් දෙන ලදී. 
             සාම්ප්‍රදායික සමාජ විද්‍යාඥයන්ගේ අදහස් තුළින් ප්‍රකට වන ප්‍රධාන කරුණක් නම් යුරෝපයේ සිදු වු සමාජ වෙනස් වීමේ ක්‍රියාවලිය නවීකරණය යන සංකල්පය බිහි වීම කෙරෙහි බලපාන ලද බවයි. එසේ වුවත් ඔවුන් කිසි විටක තමන්ගේ විග්‍රහයන් තුළ නවීකරණය යන වචනය භාවිතා නොකරන ලද අතර   ඔවුන්ගේ න්‍යායන් හා රීතීන් සමාජය තුළ සංකීර්ණත්වය යන ආකල්පමය වෙනසක් ඇති කරරීමට හේතු කාරක විය.( Fuse 1975, Page 01)
        නවීකරණ සංකල්පය හඳුනාගැනීමේදි අධ්‍යාපන හා සමාජ විද්‍යා මහචාර්යවරයෙකු වන ආර්නෝල්ඞ් ඇන්ඩර්සන්ගේ (Arnold Anderson) අදහසද වැදගත් වේ. ඔහු පෙන්වා දෙන ආකාරයට නවීකරණය හරහා ලෝකයේ උත්තරීතර ජාතීන්ගේ අදහස් ලෝකයට දැනගත හැකි වාහනයක් වශයෙනි. එමෙන්ම විද්‍යාව හා තාක්‍ෂණවේදය ද ඒ තුළින් මිනිසුන්ගේ ඇති වන දියුණුව පිළිබඳ විශ්වාසය නවීකරණයේ හදවත වශයෙන් පෙන්වා දේ.  
                     
        නවීකරණය යන්න අර්ථකථනය කිරීමේදි සමාජ විද්‍යා විශ්වකෝෂයේ ඇති අදහසද බෙහෙවින් වැදගත් වේ. එහි සඳහන් වන අන්දමට “ නවීකරණය යනු ආර්ථික සංරචක මත සමාජ වෙනස් වීමේ ක්‍රියාවලියයි.” නවීකරණය වු සමාජ ලබා ගත් පොදු සමානකම් පිළිබඳව සැලකීමේදි මෙම ලක්‍ෂණය බටහිර රටවල, උතුරු ඇමරිකානු රටවල හා ජපානය වැනි රටවලද දැකිය හැකිය. (International Encyclopedia of the Social Semces, 1968, Page 387) නවීකරණය පිළිබඳ දක්වා ඇති අදහස් අතර පහත  සඳහන් අදහස් ද වැදගත් වෙයි.
  
          “කාර්යක්‍ෂම ලෙස මෙවලම් භාවිත කිරීමට දරන ලද උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස නවීකරණය සැලකිය හැක.” 
                      - මාරියන් ජේ ලෙවි - 
             “වේගවත් ලෙස පුළුල් වෙමින් හා පාලනය වෙමින් ස්වාභාවිකත්වය හරහා මිනිසාට සමීප වු දෙයකි.” 
                       - ඩී. ඒ. රස්ටෝ - 

          “මිනිස් සම්බන්ධතාවල සංකීර්ණ බව වැඩිදියුණු කිරීමෙන් බලාපොරොත්තු වු විශේෂිත නශ්පාදන වර්ගයකි.” 
                      - ඬේවිඞ් ඊ  ඇපටර් -
  
            “ආසියාවේ හා බොහෝ රටවල පවතින සමාජීය, ආර්ථික, දේශපාලන, මනෝ විද්‍යාත්මක අංශයන්හි 
             සිදුවන සංකීර්ණ පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි නවීකරණය.”         
                      
                    - රොබට් එම් කෙන්ඩි -  

                   “මිනිසාගේ සිතුවිලි හා ක්‍රියාවලි වෙනස්වීම තුළින් සිදුවන ක්‍රියාවලිය නවීකරණය නම් වේ.” 
                         - සැවුවෙල් පී හංටින්ටන් – 

                “කිසියම් ක්‍රියාවලියක් සාම්ප්‍රදායික ක්‍රමයේ සිට තාක්‍ෂණික ක්‍රමයට හැඩගැසීම සඳහා හවුල් වු 
                    සමාජ ආකෘති, වටිනාකම්, හැඩගැසීම් හා පෙළඹවීම් යනාදියේ එකතුවකි.” 
                    
                                 - එස්. සී. ඩියුබි –

   නවීකරණය පිළිබඳ දැක් වු මේ සියලුම අදහස් තුළින් ප්‍රකට වන ප්‍රධාන ලක්‍ෂණය නම් නවීකරණය යනු දිගුකාලීන සමාජ වෙනස්වීම් ක්‍රියාවලියක් වන වබයි. නවීකරණය වූ කලී දියුණු සමාජ ලක්‍ෂණයක් ලෙස ප්‍රකට වන අතර දියුණු රටවල් විසින් නොදියුණු රටවලට ආදේශ කිරීමෙන් එම රටවල් ද දියුණු තත්ත්වයට පත් කළ හැකිය. නවීකරණය නැමති ක්‍රියාදාමය හේතුවෙන් ඇතැම් විට සාම්ප්‍රදායික සමාජයන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇති බවද පැහැදිලි වන කරුණකි. මන්ද යත් බටහිර සමාජයේ සියලුම තත්ත්වයන් නොදියුණු සාම්ප්‍රදායික සමාජයන්ට නොගැළපීම හේතුවෙනි. ඒ අනුව නවීකරණය වෙමින් පවතින නොදියුණූ සමාජ පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ.
    ඒ අනුව නවීකරණය පිළිබඳ විග්‍රහයේදී යුරෝපීය සමාජ පිළිබඳ නවීකරණ ක්‍රියාදාමයට සමගාමීව සංවර්ධනය වෙමින් පවතින රටවල නවීකරණ ක්‍රියාදාමය විග්‍රහ කිරීම අපහසු කරුණකි. ගිඞ්න්ස් පෙන්වා දෙන ආකාරයට “තුන්වන ලෝකයේ හෙවත් සංවර්ධනය වෙමින් පවතින රටවල සිදුවන නවීකරණ ක්‍රියාදාමය ආර්ථික, සංස්කෘතික සාධක සහ දේශපාලන තත්ත්වයන් මත බටහිර න්‍යායන් හා ප්‍රවේශයන් අනුව විග්‍රහ කරීම මෙන්ම අවබෝධ කර ගැනීමද අපහසු කරුණකි.”(Giddens 1992, Page 143) ඒ අනුව පැහැදිලි වන්නේ සමාජ වෙනස්වීමේ කාරණයක් ලෙස නවීකරණය පවත්නා සමාජයේ ස්වරූපය මත විවිධ වෙනස්කම්වලින් යුක්ත වන බවය. නවීකරණයේ ඉතිහාසය පිළිබඳව කථා කිරීමේදි ප්‍රථමයෙන් නවීකරණය වු යුරෝපා සමාජය පිළිබඳව කථා නොකර ඒ පිළිබඳව කථා කළ නොහැකිය. 16 -17 වන සියවස් තුළ මධ්‍යකාලීන යුරෝපයේ සිදු වු,
ආගමික ප්‍රතිසංස්කරණය
කාර්මික විප්ලවය
වාණිජකරණය
     යන කරුණු ත්‍රිත්වය මූලික වශයෙන් බටහිර සමාජ නවීකරණයට අවශ්‍ය පසුබිම සකස් කළ බව පොදුවේ පිළිගැනේ. මේ ආකාරයට සිදු වන සාම්ප්‍රදායික ආගම් වෙනස් කොට මාටින් ලූතර් සහ ජෝන් කැල්වින් යන  අය කළ ප්‍රතිසංස්කරණ මඟින් ආගමික වෙනස්වීමක් දක්නට ලැබේ. මෙය පුනරුදයේ එක් කොටසකි. එමෙන්ම 17 වන සියවස වන විට නවීන විද්‍යාත්මක සොයා ගැනීම් එනම් එංගලන්තයේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් නිපදවීමත් සමඟ විවිධ දේ සදහා එනම් විශේෂයෙන් කර්මාන්ත ශාලා බිහි වීම තුළ යන්ත්‍ර සූත්‍ර මඟින් සිදු කරන වැඩවලට මිනිසුන් හුරු විය. මෙසේ මුලින්ම නවීකරණයේ ප්‍රථම අවධිය දැක්විය හැකිය. 
                නවීකරණය යනු සමාජය නවීකරණයට හේතු සාධක කිහිපයක් හඳුනාගත හැකිය. එය නවීකරණය බිහි වු යුරෝපා සමාජයට වඩා නගර නවීකරණයත් සමඟ ගම් දනවු කරා පැතිර යන ආකාරය වත්මන් සමාජයෙන් හඳුනාගත හැකිය. මේ සඳහා බලපානු ලබන ප්‍රධාන සාධක කිහිපයක් දැක්විය හැකිය.

නව තාක්‍ෂණය භාවිතය
ජනමාධ්‍ය බලපෑම
යන්ත්‍ර සූත්‍ර භාවිතය
නාගරීකරණය
බටහිරකරණය
නව සොයා ගැනීම්
අධ්‍යාපන දියුණුව හා දැනුම වර්ධනය

                 මේ ආදි වු කරුණු රාශියක් නවීකරණය සඳහා බලපානු ලැබෙයි. මිනිසාගේ දැනුම වර්ධනය වත්ම නව සොයා ගැනීම් තාක්‍ෂණ ශිල්ප ක්‍රම මඟින් සෑම දෙයක් සඳහාම යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා මිනිසාට වැඩ කටයුතු ඉතා පහසු වන අතරම එහි තාක්‍ෂණික වබ මිනිසුන් ඒ කරා වැඩිපුර ඇදීයාමට එක් හේතුවක් වේ. නාගරීකරණය හා බටහිරකරණය ආදි ලක්‍ෂණ තුළින් ද මෙය තව තවත් ගම් කරා පැතිර යයි. මේ සඳහා ප්‍රබලව බලපාන්නක් ලෙස ජනමාධ්‍යය භාවිතය ද සඳහන් කළ හැකිය. ලෝකයේ සිදු වන ඕනෑම දෙයක් තප්පර කිහිපයකදී ලොව පුරා බෙදා හැරීමට තරම් තාක්‍ෂණය දියුණුවත් සමඟ මෙය දකින ග්‍රාමීය ජනතාවද මෙම සුව පහසු යන්ත්‍ර සූත්‍ර භාවිත කොට තම කටයුතු ද ඉටු කර ගැනීමට ප්‍රයත්ත දරයි. ගොවිතැන් කළද එයට නව තාක්‍ෂණ සහිත යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට මිනිසා පෙළඹවාලීමට ඉහත හේතු සාධකයන් බලපාන බව සඳහන් කිරීමේ හැකියාව තිබේ. 
             බටහිරකරණය තුළින් ලැබු හරය නම් බටහිර රටවල් අනුගමනය කළ සංවර්ධන සැලසුම් සංවර්ධනය වෙමින් පවතින රටවල් ද අනුගමනය කිරීම නිසා එම රටවල් ද දියුණූ තත්ත්වයට පත් වීමයි. නවීකරණය පිළිබඳ විග්‍රහයන්වලදී බෝහෝ වශයෙන් බටහිරකරණය නැමති සංකල්පය පිළිබඳව හඳුනාගත හැකි වේ. නමුත් ඇතැම් අවස්ථාවලදි ප්‍රතික්‍ෂේප වීමද දැකගත හැකිය.Daniel Lerner පෙන්වා දෙන පරිදි නවීකරණය පිළිබඳ ඓතිහාසික සංසිද්ධිවලදී ද හුදෙක් බටහිරකරණය හා සම්බන්ධ වී ඇත. (Fuse, 1975) මේ අනුව නවීකරණය තුළින් බටහිරකරණය අර්ථ ගැන්වේ. 
              කෙසේ වූවත් නවීකරණයේදි බටහිරකරණය ගැනද අවධානය යොමු කළ හැකිය. නව කෘෂිකාර්මික සොයා ගැනීම්, කාර්මික ක්‍ෂෙත්‍රයට සිදු වු දායකත්වය සහ විද්‍යාව හා තක්‍ෂණවේදය ආදි ක්‍ෂේතවලට සිදුවු බලපෑම අධ්‍යයනයෙන් පමණක් එම රටවල හර පද්ධතීන්ට සිදු වූ බලපෑම තක්සේරු කිරීම ඉතා අපහසු කරුණකි. කෙසේ වූවද නවීකරණය පිළිබඳ අධ්‍යයනයන්වලදී බටහිරකරණයට ද සුවිශේෂි ස්ථානයක් හිමිවන බව පැහැදිලි කරුණකි. 



නවීකරණයේ ලක්ෂණ 
                නවීකරණයක් වු සමාජයක් තුළ විවිධ ලක්‍ෂණ, ගුණාංග හඳුනාගත හැකිය. බටහිර දියුණු සමාජයේ ලක්‍ෂණ ගත් විට එහි නාගරීකරණය ඉහළ අගයක් ගනී. ඇමරිකාව ජපානය වැනි රටවල් මේ සම්බන්ධ නිදර්ශන ලෙස පෙන්වා දිය හැකිය. මේ රටවල නාගරීකරණය 66්‍ර කට වඩා වැඩි ප්‍රතිශතයක් ගන්නා අතර සාක්‍ෂරතාවය හා ඒකපුද්ගල ආදායම ද ඉහළ අගයක් ගනී. භූගෝලීය හා සමාජ සංචලතාවය පැතිර ඇත. ජාතික ආර්ථික නිශ්පාදනයේ වැඩි කොටසක් කාර්මික භාණ්ඩ නිශ්පාදනයට අයත් වන අතර දියුණු ජන මාධ්‍ය ජාලයක් ද දැකගත හැකිය. දේශපාලන හා පරිපාලන හැකියාවන් ඉහළ මට්ටමක පවතී. එහිදි නව රාජ්‍ය කළමණාකරණය නව ශිල්ප ක්‍රම භාවිතය ආදිය සුලභව දැකගත හැකිය. සමස්ථයක් ලෙස ගත් විට නවීකරණයේ ගුණාංග පහත පරිදි සරලව විග්‍රහ කළ හැකිය.



තාක්‍ෂණය හා යාන්ත්‍රීකරණය
   අතීතයේ දී අතින් ක්‍රියාත්මක කළ යන්ත්‍ර සූත්‍ර පසුකාලීනව තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්‍රොනික     උපකරණ මෙන්ම පරිගණක තාක්‍ෂණය, රොබෝ තාක්‍ෂණය දක්වා මිනිසුන් දියුණු වී ඇත.

කාර්මීකරණය
   කෘෂිකාර්මික අංශයේ නිරත වෙමින් කෘෂිභෝග නිශ්පාදනයේ නිරත වු ජනතාව කර්මාන්ත අංශයට   යොමු වීම.

නාගරීකරණය
හුදකලාව පැවතුණ ඇතැම් විට නොදියුණු මට්ටමින් පැවතුණු නගර ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත් වී ඇති අතර නාගරීකරණයත් සමඟ නගර පහසුකම් හා කර්මාන්ත අංශයෙන් දියුණුවීමත් සමඟ නගර ආශ්‍රීතව ජනතාව ඒකරාශී වීමක් සිදු විය.

ජාතික මට්ටමේ ආදායම හා ජාතික මට්ටමේ නිෂ්පාදනය ඉහළ අගයක් ගැනීම
කාර්මීකරණයත් සමඟ වැඩි වැඩියෙන් කාර්මික නිශ්පාදන ආදි භාණ්ඩ නිශ්පාදනය වීමත් සමඟ ජාතික ආදායම හා ජාතික නිශ්පාදනය ඉහළ අගයක් ගනී. මේ හා සමගාමීව අපනයන ප්‍රවර්ධන වැඩපිළිවෙළවල් ද ක්‍රියාත්මක වේ.

සාක්‍ෂරතාවය ඉහළ අගයක් ගැනීම
  සියලු පුරවැසියන්ට මනා අධ්‍යාපනයක් ලබා දෙන අතර එමඟින් සාක්‍ෂරතාවය ඉහළ අගයක් ගනී. 

දේශපාලන සහභාගීත්වය වැඩිය
     ජනතාව තුළ ඉහළ දේශපාලන දැනුමක් හා අවබෝධයක් ඇති අතර එනිසා ජනතාවගේ දේශපාලන සහභාගීත්වය වැඩිය.

සමාජ සංචලතාවය
    මෙහිදි ස්ථාවරව පැවති සමාජයක් වෙනස් වී ඉන් අනතුරුව දිගින් දිගටම හා සීඝ්‍රයෙන් සමාජ වෙනස්වීම් සිදු වේ.

ජාතික අනන්‍යතාවය ගොඩනැගීම
පටු ජාති, කුල, ගෝත්‍ර, සංස්කෘතික හා ආගමික භේද අත්හැර සියලු දෙනා එකම ජාතියකට, රටකට   අයත් පිරිසක් ලෙස කටයුතු කරනු ලබයි. 

ඩබි.ටී.ඩි.ද. රාජකරුණා
(ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) 






Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.