ආර්ථික විද්‍යාවට ප්‍රවේශයක් |economics

සමාජීය විද්‍යාවන්ගේ රැජින ලෙස හදුන්වනු ලබන ආර්ථික විද්‍යාව බොහෝ දෙනාගේ අවධානයට ලක් වු  විෂයක් . නමුත් බොහෝ ශිෂ්‍යයන් මේ විෂයය ඉතාම අසීරු විෂයක් ලෙස තමයි හදුන්වන්නෙ. සැබැවින්ම ආර්ථික විද්‍යාව කියන්නේ ආසාවෙන් ඉගෙනගන්න පුලුවන් විෂයක්. අපි දැන් ආර්ථික විද්‍යාව කියන්නෙ මොකක්ද කියල බලමු.

“නිමල් කියන්නෙ රජයේ ආයතනයක රැකියාවක් කරන මහත්මයෙක්. එයාට ලස්සන පවුලක් හිටියා.එයා එයාගෙ පවුලේ අය වෙනුවෙන් මහන්සි නොබලා හැමදාම  රැකියාවට ගියා.
නිමල්ගේ චූටි දුව හැමදාම බෝනික්කෙක් ඉල්ලලා අඩනවා.ලොකු දුවට ඕන ලස්සන ගවුමක් ලු. නිමල්ගේ අම්මා මැරෙන්න කලින් දඹදිව යන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. බිරිඳ හැම වෙලාවෙම කියන්නෙ වාහනයක් ගමුයි කියලයි.ඒත් මේ හැම දෙයක්ම කරන්න වෙන්නෙ නිමල්ට ලැබෙන සුලු පඩියෙන්.
ඉතින් මාසික පඩිය අතට ගන්නෙ නිමල් මේ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරන්න හිතාගෙන. ඒත් නිමල්ට ඒක කරන්න ලේසි නෑ. මොකද කිව්වොත් ලැබෙන ආදායම පවුලේ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරන්න මදි.ඒ හින්දා අතට ලැබෙන සුලු ආදයම වියදම් කපාහරිමින් කලමනාකරණය කරගන්නෙ හරිම අසීරුවෙන්”.

මේ සරල කතාව හරියට කියෙව්වානම් ආර්ථික විද්‍යාවෙන් කියන්නෙ මොකක් ගැනද කියලා තේරුම් ගන්න පුලුවන්.ප්‍රධාන වශයෙන් ම ආර්ථික විද්‍යාව තුලින් ඉගෙන ගන්නේ ;                                             
“මිනිසුන් ඔවුන්ගේ අසීමිත වුවමනාවන් සීමාසහිත සම්පත් ප්‍රමාණයකින් සපුරා ගැනීමට උත්සාහ කරන ආකාරයයි.”

ලෝකයේ ඕනෑම රටක තිබෙන සම්පත්වලින් සීමාසහිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් නිපදවීමට ප්‍රමාණවත් වුවද මිනිසුන්ගේ සියලුම වුවමනාවන් සපුරා ගැනීමට එම සම්පත් ප්‍රමාණවත් නොවේ. මිනිසුන්ගේ වුවමනාවන් සමග බලන විට සම්පත් ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි.මේ හමුවේ එම සීමිත සම්පත් භාවිතා කර අසීමිත මිනිස් වුවමනාවන් සපුරාගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ගයන් මෙම විෂයට පදනම සපයයි.
වර්ෂ 1931 දී ලයනල් රොබින්ස් නැමැති ආර්ථික විද්‍යාග්නයා ආර්ථික විද්‍යාව අලුත්ම ආකාරයකට නිර්වචනය කළ කෙනෙකි.ඔහුට අනුව;

          “ආර්ථික විද්‍යාව හිග සම්පත් වලින් තම වුවමනාවන් ඉටු කරගැනීමට උත්සාහ දැරීමේ දී මිනිසා හැසිරෙන ආකාරය අද්‍යනය කරන විෂයයි”.

ඒ අනුව එදා සිට අද දක්වාම ආර්ථික විද්‍යාවේ ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ හිගකමයි. ආර්ථික විද්‍යාව තුල හිගකම මේ ආකාරයට අර්ථ ගන්වයි.

            “අසීමිත මිනිස් වුවමනාවන් සපුරා ගැනීමට සමාජයක් සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීමයි”.

ඒ අනුව සමාජයක් සතුව පවතින සම්පත්වලට සාපේක්ෂව මිනිසුන්ගේ වුවමනාවන් අසීමිත වන බවයි. මෙයට අනුව හිගකම පැන නැගීමට ප්‍රධාන හේතු දෙකක් අනාවරණය කරගත හැකිය.එනම්,
දෙන ලද අවස්ථාවක මිනිස් වුවමනාවන් අසීමිත වීම
එම වුවමනාවන් සපුරාගැනීමට පවතින සම්පත් සීමිත වීම 

ලෝකයේ ඕනෑ ම රටකට පොදු ප්‍රශ්නය වන හිගකම දුප්පත්කම නිසාවත් සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීම නිසාවත් ඇතිවන ප්‍රශ්නයක් නොවන අතර මිනිස් වුවමනාවන් අසීමිත වන තාක්කල් පවතින ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ප්‍රශ්නය වේ.

 -Piumi Madhushika-
(University of J'pura)



Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.