45 වෙනි ලෝකෙට ලොක්කා

ලෝකෙට ලොක්කා නැත්නම් ඇමරිකාවේ ජනාධිපති ගැන දැනගන්න කවුරුත් උනන්දුයිනේ.ඇමරිකාවේ 45 වෙනි ජනාධිපති විදියට ඉතිහාසගත වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්  ජනාධිපතිවරයා.එයා ඉතිහාසගත වෙන්නේ ඒ හේතුව හින්දා විතරක් නම් නෙවෙයි.එදා මෙදාතුර ධවල මැදුරෙන් බිහි වූ සුවිශේෂී ම ජනාධිපතිවරයාගේ තවත් සුවිශේෂී කරුණු කිහිපයක් අද ඔයාලා ඔක්කොටම දැනගන්න මම කියන්නයි යන්නේ.

අහගන්නකෝ...ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ධනවාදයට තැන දෙන කෙනෙක්.එයා බලයට ආවෙත් ඇමරිකානුවන්ට රැකියා අවස්ථා උදා කිරීමේ පොරොන්දුවත් එක්ක.ඒ හින්දා ඇමරිකානු නිෂ්පාදන නවතා දැමීමට හේතු වූ නිදහස් වෙළඳාමට එයා ගොඩක් විරුද්ධව විවේචන එල්ල කරා.1930 දී ඇමරිකාවේ බලයේ හිටපු හර්බට් හුවර් ජනාධිපතිවරයා තමයි අවසාන වතාවට මේ ප්‍රතිපත්ති අනුගමනය කරේ.ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුලබ ලක්ෂණයක් වෙච්චි මේක ආයේ කරලියට ගෙනාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්.

2015 සැප්තැම්බර් වල "ඉකොනොමිස්ට්"සඟරාවට ප්‍රකාශයක් කරලා තියෙනවා"චීනය අපිව විනාශ කරමින් ඉන්නවා.ඇමරිකානුවන්ට මේ කොල්ලකෑම එපාවෙලා"කියලා.ඒ විතරක් නෙවෙයි චීන ආයතන වලට වැට බඳින්න 12%ක ආනයන බද්දක් පනවන්නත් අදහස් කරනවා කියලා ඹහු ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ වගේම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය තුළ දී අනතුරු ඇඟෙව්වේ කැනඩාව,මෙක්සිකෝව හා ඇමරිකාව කියන රටවල් අවුරුදු 23 ක කාලයක් සඳහා එකඟතාවයට පැමිණි නැෆ්ටා නිදහස් වෙළඳ ගිවිසුමත් ඉරා දමන බවයි.

ඒ වගේම ඇමරිකාව ඇතුළු රටවල් 12ක් අත්සන් කරපු ෆැසිපික් වෙළඳ ගිවිසුම ධවල මන්දිරයට යන මුල් දවසෙම අවලංගු කරනවා කියලා ඔහු ප්‍රකාශ කරා.ඔන්න ඔහොමයි ලෝකෙට ලොක්කා නිදහස් වෙළඳාමට වෛර කරන්නේ.

ඊළඟට තමයි හොඳම හරිය.සුරතල් සත්තු ඇතිකරන්න අපි කවුරුත් කැමතියිනේ ඉතින්.ලෝකෙට ලොක්කා වුනත් ඒකේ වෙනසක් නෑ.ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වෙන්නේ සියවසකට අධික කාලයක් තුළ ධවල මන්දිරයට සුරතල් සත්තු වද්ද නොගත්ත පළමු ජනාධිපතිවරයා ලෙසයි.ඔහු ගෝල්ඩන් ඩූඩල් වර්ගයේ සුනඛයෙකු රැගෙන ඒමට පැවති සැලැස්මක් ද අතහැර දැමූ බව කියවේ.ජනාධිපතිවරුන්ගේ කෞතුකාගාරය කියන විදියට හැම ජනාධිපතිවරයෙකුටම වගේ සුරතල් සත්තු සිටි අතර ඇතැමුන්ට ප්‍රදර්ශනය සඳහා පමණක් සත්තු හිටිය බව සඳහන් වෙනවා.

මේ අතරේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි කැපී පෙනෙන්නේ සාසා නැමති හාවෙකුගේ ඉඳලා කැනරි කුරුල්ලෙකු දක්වා විවිධ සත්තු ඇති කිරීම හේතුවෙන්.
ඒත් 1923 සිට 1929 දක්වා ධවල මන්දිරයේ වාසය කළ කැල්වින් හා ග්‍රේස් කුලීජ් දෙන්නට සත්තු වත්තක් වගේ විශාල සත්තු සංඛ්‍යාවක් හිටි නිසා මේ කරුණේ දී ඔවුන් පෙරමුණ ගන්නා බව කෞතුකාගාරය කියනවා.එයාලා කියන විදියට බූරුවෙක්,සුනඛයන් දහ දොලොස් දෙනෙක්,ඹස්ට්‍රේලියානු වොලබියෙක්,විදේශ වලින් තෑගි ලැබුණු සිංහ පැටව්,බිලී නම් වූ හිපෝ කෙනෙක් හා කළු වලසෙක් ද ඔවුන් සතුව සිටි බව කියවේ.

ජනාධිපති ආර්යාව ගැන දැනගන්නත් කස්ටියට ඉවසිල්ලක් නැතුව ඇති.දන්නවනේ ඉතින් මෙලනියා.ඇමරිකාවෙන් පිටත උපත ලද දෙවනි ජනපති ආර්යාව වන්නේ ඇයයි.1825 සිට 1829 දක්වා ඇමරිකාවේ හයවැනි ජනාධිපති පදවිය දැරූ ජොන් ක්වින්සි ඇඩමිස් ගේ බිරිඳ මෙහිදී මුල් තැන ගනී.ඇය ඉපදිලා තියෙන්නේ ලන්ඩන් නුවර.ස්ලෝවෙනියාවෙන් පැමිණ  ජනාධිපති බිරිඳක් වුණු පළවෙනි කාන්තාව මෙලනියා වන අතර උපතින් ඉංග්‍රීසි භාෂාව කතා නොකරන පළවෙනි ජනාධිපති ආර්යාව වන්නේ ද ඇයයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීට කලින් දෙපාරක් විවාහ වෙලා තියෙන හින්දා ධවල මන්දිරයට ආපු ප්‍රථම තෙවැනි බිරිඳ වන්නේ ද ඇයයි.දික්කසාදව සිටි අනෙක් ඇමරිකානු ජනාධිපතිවරයා වන්නේ රොනල්ඩ් රේගන් වන අතර ඔහු තම පළමු බිරිඳ වන ජේන් වයිමන් කියන නිළියනේ වෙන්වෙලා තියෙන්නේ ජනාධිපති පදවියට පත්වෙන්න කලින්.
ඒ වගේම චැඩිම භාෂා ගනනක් කතාකරන පළවෙනි ඇමරිකානු ජනාධිපති ආර්යාව වෙන්නෙත් මෙලනියා.ඇයට ඉංග්‍රීසි,ප්‍රංශ,ස්ලෝවේනියානු,ජර්මන් හා සර්බියානු භාෂාව හොඳින් හසුරවන්න පුළුවන්.


ඒ විතරක් නෙවෙයි නිරුවත් නිරූපිකාවක් වෙලා ඉඳලා ජනාධිපති ආර්යාවක් බවට පත් චු පළවෙනියා වෙන්නෙත් මෙලනියා.2000 අවුරුද්දේ ඇය සඟරා කිහිපයක් සඳහා නිරුවත්ව පෙනී ඉඳලා තියෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ද 1990 පිරිමින් සඳහා වූ "ප්ලේ බෝයි" සඟරාවේ පෙනී ඉඳලා තියෙනවා.
මේ වගේ කරුණු රාශියක් නිසාවෙන් ලෝකෙට ලොක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් නොදෙවනි වෙන්නේ කාටද කියලා හිතෙන එක පුදුමයක් නෙවෙයිනේ. 

 

 



ධනුෂ්ක ප්‍රසාද්
(ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)


Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.